Saturday, April 6, 2013

පබාගේ නඩුව සමතයකට...

ගම්පහ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීනි හා ජනප්‍රිය රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට ඇයගේ සැමියා පහරදුන් බවට කියන සිද්ධිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (05 වැනිදා) දෙපාර්ශ්වයේම එකගතාව මත සමථයකට පත් කෙරිණි.
පැමිණිලිකාරියට කිසිදු හිංසාවක් හෝ කරදරයක් යළි නොකරන බවට ඇතිකරගත් එකගතාවක් මත නඩුව සමථයකට පත් කිරීමට අවසර දෙන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙසේ පත් කෙරිණි.
මෙම නඩුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා ඉදිරියේ පැවැත්විණි...2011 පෙබරවාරි 16 වැනිදා උඩහමුල්ල ප්‍රදේශයේ නිවසකදී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියගේ සැමියා වන මහේෂ් චාමින්ද නමැත්තා පැමිණිලිකාරියට මෙම පහරදීම කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඇය මිරිහාන පොලිසියට පැමිණිලි කර තිබිණි.
මෙහි පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනීතා නානායක්කාර මහත්මිය විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විධුර පී. මංචනායක මහතාද පෙනී සිටියහ.

SONY ගෙනෙන Sony Xperia Z SMART PHONE

SONY වෙතින් පිදෙන Sony Xperia Z SMART PHONE ජංගම දුරකතනය SONY හි එකම ශ්‍රී ලාංකික නියෝජිතයා වන Metropolitan Telecom Services පෞද්ගලික සමාගම විසින් වෙළෙඳපොළට නිකුත් කරනු ලැබිණ.

මීට දින කිහිපයකට පමණ පෙර ජාත්‍යන්තර වශයෙන් හඳුන්වා දෙනු ලැබූ මෙම ජංගම දුරකතනය, රූපවාහිනී, ඡායාරූප, සංගීතය සහ ක්‍රීඩා යන ක්‍ෂේත්‍රයන් වෙත සෝනි සමාගම විසින් අඩ සියවසක් තුළ සිදුකරන ලද හඳුන්වා දීම අතරට එක් වූ නවතම සාමාජිකයා බව මෙට්‍රෝපොලිටන් ටෙලිකොම් සමාගමේ CEO ලෙස කටයුතු කරන රොෂාන් තිසේරා මහතා ප්‍රකාශ කළේය. ඔහු තවදුරටත් ප්‍රකාශ කළ පරිදි, මේ වන විටත් Xperia Z ජංගම දුරකතනය සඳහා සම්මාන 13ක් පමණ හිමි වී ඇත.

Snapdragon S4 pro නපධ ප්‍රොසෙසරයක් සහිත Xperia Z ස්මාර්ට් දුරකතනය ක්‍රියාත්මක වන්නේ නවතම ඇන්ඩේ‍රායිඩ් මෙහෙයුම් පද්ධතිය වන Jelly Bean මඟිනි.

Xperia Z ජංගම දුරකතනය සතුවSony cyber sho කැමරාවක අඩංගු සියලුම පහසුකම්වලින් සමන්විත 13 MP කැමරාවක් ඇති නිසා ඔබේ ඊළඟ විනෝද චාරිකාව සඳහා වෙනම කැමරාවක් සහ වීඩියෝ රෙකෝඩරයක් රැගෙන යෑමට ඔයට සිදු නොවේ. සියලුම සිත් අලවන සිදුවීම් එසැණින් ඡායාරූප හා වීඩියෝ ගත කිරීමට ඔබට අවශ්‍ය වන්නේ ඉධදර Xperia Z ජංගම දුරකතනයක් පමණයි.

මේ ඇසුරින් ඔබ විසින් ගනු ලබන ඡායාරූප හා වීඩියෝ දර්ශන ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුක්තය. Sony සමාගම සතු Exmor RS තාක්ෂණය අඩු ආලෝකයක් පවතින අවස්ථාවක වුවද ඉහළ ගුණාත්මක බවකින් හෙබි ඡායාරූප ගැනීමට ඔබට ඉඩ සලසා දෙයි. මෙම දුරකතනය සතු තවත් ලක්ෂණයක් වන HDR තාක්ෂණය මඟින් අඳුරු ආලෝක තත්ත්ව යටතේ වුවද පැහැදිලි ඡායාරූප ගැනීම පහසු කරයි.

නළු නිළියන් ගිය ගුවන් යානයේ සේවිකාවගේ මුහුණට විදේශිකයකු කෙළ ගහලා


ශ්‍රී ලාංකික නළු නිළියන් පිරිසක් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා බලා පියාසර කරමින් තිබූ "මිහින් ලංකා" ගුවන් යානයකදී විදේශිකයකු ශ්‍රී ලාංකික ගුවන් සේවිකාවකගේ මුහුණට කෙළ ගැසීම නිසා ගුවන් යානයේ දැඩි නොසන්සුන්තාවක් හට ගැනුණි.

ඉකුත්දා (04දා) සවස 7ට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළින් පිටත් වූ මිහින් එයාර් NJ407 අංකය දරන ගුවන් යානයේදී මේ අප්‍රසන්න සිද්ධිය සිදුවීම නිසා එහි ගමන් ගත් ශ්‍රී ලාංකික කලාකරුවන් රැසක් ගුවන් යානයේදී අදාළ විදේශිකයාට දැඩි විරෝධයක් එල්ල කර ඇත. ඒ හේතුවෙන් සාජා ගුවන්තොටුපළේදී එම විදේශිකයා පොලිස් භාරයට ගනු ලැබීය.

සාජා බලාගිය මේ ගුවන් යානයේ සිටියේ පෙරේදා (05දා) පැවැත් වූ "ඩුබායි වොන්ඩර් ලෑන්ඩ්" සිංහල අවුරුදු උත්සවයට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික කලාකරුවන් පිරිසකි.

ඔවුන් අතර ක්ලීටස් මෙන්ඩිස්, රොෂාන් රණවක, සුසිලා කෝට්ටගේ, සනත් විමලසිරි, චම්පා කල්හාරි, ජොලි සීයා, බුද්ධික උෂාන්, රොමේෂ් සුගතපාල හා රන්ජන් රාමනායක වැනි කලාකරුවෝ වූහ.

මේ පිරිස අවුරුදු උත්සවයක් හා දැවැන්ත සංගීත සන්දර්ශනයකට සහභාගි වීම සඳහා සාජා බලා පැමිණි අතර ගුවන් යානයේදී ගුවන් සේවිකාවට සිදු වූ අනපේක්‍ෂිත සිදුවීම නිසා දැඩි කෝපයටත්, නොසන්සුන්තාවටත් පත්ව සිටියහ.

රාජ්‍ය සේවකයන්ගේ අත්තිකාරමත් කපලා...

රාජ්‍ය සේවකයන් වෙත එළැඹෙන අලුත් අවුරුදු උත්සව අත්තිකාරම් මුදල් වශයෙන් රජයෙන් ඉල්ලා සිටි රුපියල් 10,000ක මුදලින් හරි අඩක් පමණක් ලබාදීමට පියවරගෙන ඇත.

රජය මඟින් උත්සව අත්තිකාරම් රාජ්‍ය සේවකයන් වෙත ලබාදෙන රුපියල් 5,000ක මුදල ඔවුනට කිසි ලෙසකින් ප්‍රමාණවත් නොවන බවත් එම මුදලින් ඔවුන්ට උත්සව සමය ගත කිරීමට නොහැකි බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති උතුරු මැද පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ මහතා 'මව්බිම'ට පැවැසීය.

රජය වෙත දිගින් දිගටම රාජ්‍ය සේවකයන් සඳහා වන උත්සව අත්තිකාරම් මුදල් ප්‍රමාණය රුපියල් 10,000ක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලා සිටියද රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ බව පවසන ඒ මහතා රාජ්‍ය සේවකයන්ට අලුත් අවුරුද්දට කිරිබතක්වත් උයා ගන්න බැරි මට්ටමේ අත්තිකාරමක් පමණක් ආණ්ඩුව විසින් ලබාදීඇති බවද කීය.

අනුමත නොකළ බලාගාර 4කින් ලංවිම විදුලිය අරන්..

කොමිස් ගනුදෙනු හේතුවෙන් මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත නොකරන ලද ආයතන දෙකකට අයත් බලාගාර හතරකින් ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගන්නා බව අනාවරණය වී ඇත.

මෙසේ සිදුකරන විදුලිය මිලදී ගැනීම්වලින් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 1,300ක අලාභයක් සිදුවන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා පැවැසීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය මිලදී ගැනීම් මහජන උපයෝගිතා කොමිසමේ අනුමතයෙන් තොරව සිදුකිරීම නීති විරෝධී ක්‍රියාවකි. ලංවිමේ මේ ක්‍රියාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම විමසන අවස්ථාවකදී ලංවිම නිලධාරීන් පවසා ඇත්තේ ප්‍රමාණවත් ජල විදුලිය නොමැති බවයි.

එහෙත් ඔවුන් මෙසේ පවසා ඇත්තේ ප්‍රමාණවත් ජල විදුලිය අවශ්‍ය ප්‍රමාණයට වඩා තුන් ගුණයක් තිබියදී බව රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
ඒ. එස්. පවර් හොරණ, මාතර, ඇඹිලිපිටිය හා ලක්දනව් බලාගාර මෙසේ ලංවිම විදුලිය මිලදී ගැනීම් කරන බලාගාර වේ.

මේ විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් පසුගියදා (4දා) මහජන උපයෝගිතා කොමිසම විසින් පවත්වන ලද විදුලි ගාස්තු සංශෝධන වාචික අදහස් විමසීමේදී ද හෙළි විය.

බලශක්ති සංසදයේ නියෝජිතයකු එහිදී පැවැසූයේ ලංකා විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය උත්පාදනය අතැර දමා මෙවන් වංචාවන් කෙරෙහි උනන්දු වී ඇති බවය.

ගිය වසරට වඩා මේ වසරේ ගංජා ජාවාරම ඉහළට..

පසුගිය වසරට වඩා මේ වසරේ හෙරොයින් සහ ගංජා ජාවාරම් ඉහළ නඟින තත්ත්වයක් උද්ගත වී ඇති බව පොලිසිය සිදුකළ සමීක්ෂණයකදී හෙළි වී තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකළ මෙහෙයුම්වලදී පසුගිය වසරේදී පමණක් රුපියල් කෝටි විසිඑකක් වටිනා හෙරොයින් තොග සමඟ සැකකරුවන් 616ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසියේ උසස් නිලධාරියකු පැවැසීය. අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 21කි. එහෙත් මේ වසරේ පසුගිය මාස තුනකදී රුපියල් කෝටි 15ක් වටිනා හෙරොයින් කිලෝ 15යි ග්‍රෑම් 147ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 110 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර පසුගිය වසරේ ගංජා කිලෝ 493 ග්‍රෑම් 633 සමඟ සැකකරුවන් 176 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වසරේ ගෙවී ගිය මාස තුන ඇතුළත ගංජා කිලෝ 92 ග්‍රෑම් 491ක් සමඟ සැකකරුවන් 36 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට ගැනීම් පසුගිය මාස තුනේදී තණමල්විල, මොනරාගල ප්‍රදේශයේ ගන කැලෑ තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ ගංජා හේන් සංහාරයේ රුපියල් කෝටි ගණනක් වටිනා ගංජා හේන් 83ක් විනාශ කර තිබිණි. වියළි ගංජා කිලෝවක් රුපියල් 45,000කට අලෙවි වන බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

Friday, April 5, 2013

අංජන බස්නාහිර පළාත් සභාවට රතු එළියක් දල්වයි


කිසිදු දැනුම්දීමකින් තොරව වැඩි කර ඇති පෞද්ගලික බස් රථ සේවා ගාස්තු ලබන 08වැනිදාට පෙර ඉවත් නොකළහොත් බස්නාහිර පළාත් සභාව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් අරඹන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජීත් මහතා අවධාරණය කරයි.
බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ලොග් බලපත්‍රය රුපියල් 750 සිට 1000 දක්වාත්, මාර්ග බලපත්‍ර ගාස්තුව රුපියල් 3500 සිට 5000 දක්වාත්, මාර්ග සංශෝධිත බලපත්‍ර ගාස්තුව 70,000 සිට 100,000 දක්වාත් මේ මස 01 වැනිදා සිට කිසිදු දැනුම්දීමකින් තොරව වැඩි කර ඇති බව ඔහු පවසයි.
එසේම පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යවරයා මේ මස 20 වැනිදා වන විට සියයට 7ක බස් ගාස්තු වැඩිවීමක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සියයට 10ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින්නේ ඉහත බස් රථ සේවා ගාස්තු වැඩිවීම දැනගෙනදැයි සැකයක් මතුවන බවද හෙතෙම කියයි.
කොළඹදී අද (05) පැවැති මාධ්‍ය හමුවකදී අංජන ප්‍රියංජීත් මහතා මේ බව පැවසීය.
ඉහත සේවා ගාස්තු ඉවත් නොකළහොත් සියයට 10ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බවද එසේ නොවන්නේ නම් 8 වැනිදා මාරාන්තික උපවාසයකට එළඹෙන බවද එහිදී ඔහු වැඩිදුරටත් කීවේය.